සිනමාහල් වසා දමන තත්වෙට පත් වෙලා

සිනමාහල් වසා දමන තත්වෙට පත් වෙලා

චිත්‍රපට නරඹන සංඛ්‍යාවට සාපේක්ෂව වැයවන වියදම අධික නිසා සිනමා ශාලා සියල්ල වසා දමන තත්ත්වයට පත්ව ඇතැයි චිත්‍රපට ශාලා හිමියෝ පවසති.

කොවිඩ් අර්බුදය නිසා අසරණ වූ තමන්ට මේ වනතෙක් කිසිදු සහනයක් ලැබී නැතැයිද අර්බුදය හමුවේ සිනමාශාලා විවෘත කිරීමට ශාලා හිමියන් ගත් තීන්දුව අනුවණකමක් බවද ජාතික සිනමාහල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් කුලරත්න පැවැසුවේය.

මෙරට සිනමාශාලා 119 ක් පමණ තිබෙන බව කී ඔහු ඉන් සිනමාශාලා හිමියන් 82 ක් පමණ තම සංගමයේ සාමාජිකත්වය දරන බවද කියයි.

පාස්කු දින ප්‍රහාරය නිසා කඩාවැටී තිබූ සිනමා කර්මාන්තය යළි හිස එසවීම ආරම්භ කළ සැණින් කොවිඩ් වසංගතය පැමිණි බව කී හෙතෙම නගරයෙන් පිට ඇති සිනමාශාලා මෙතෙක් විවෘතකර නැතැයිද කීය.

සංගමයට අයත් කොළඹ ප්‍රදේශයේ සිනමාශාලා දෙකක්ද අධික පාඩු ලබන අතර එක් ශාලාවක පාඩුව රුපියල් ලක්ෂ එකහමාරක් බවද පෙන්වා දෙයි.

අජිත් අලහකෝන්