කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයි - ජනපති

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයි - ජනපති

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ, උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද සාකච්ඡාවේදියි.

කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැලසුම් සැකසීම කෙරෙහි මෙහිදි සාකච්ඡාවට බදුන් වුණා.

ඊට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා ඊට අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් රේඛීය ආයතන නිලධාරීන් සහ වගා සංගම් නියෝජිතයන් එක්ව සිටියා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීම සදහා එම භෝග ආනයනය නතර කළ බවයි. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැම්ම ප‍්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට ද සැලසුම් කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප‍්‍රචලිත කිරිමේ වැදගත්කම පිළිබදවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සාච්ඡාවේදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.