ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් (VIDEO)

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් (VIDEO)

අම්පාර, සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ ගිනි ගනිමින් ඇති ”M T ටී නිව් ඩයමන්ඞ්” ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා

ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.

ඒ, ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ද සහය ඇතිවයි. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ, නෞකාවේ එන්ජින් කාමරයේ හටගෙන ඇති ගින්න තෙල් සංචිත ගබඩා කර ඇති ප‍්‍රදේශයට පැතිරගොස් නොමැති බවයි.

තෙල් සංචිත ඇති කොටසට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

නාවික හමුදාවේ නෞකා 03 ක්, වේග ප‍්‍රහාරක යාත‍්‍රා 02 ක්, ඉන්දියානු නාවික හමුදාවට සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 02 ක් සහ තවත් යාත‍්‍රා 03 ක් ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සඳහා එක්කර තිබෙනවා.

මේ අතර, මෙම නෞකාවේ ගින්න තෙල් සංචිත ඇතුළත් කොටසට පැතිර ගොස් තෙල් කාන්දුවක් සිදු වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිිටින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ අදාළ නෞකාව ඊයේ (03) දිනයේ පැවති ස්ථානයේ සිට සැතපුම් 12 ක් පමණ ගොඩබිම දෙසට ළඟා වී ඇති බවයි.

මේ අතර අදාළ නෞකාවේ සිටි අතුරුදහන් වූ බවට පැවසුණු පිලිපීන ජාතිකයා මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

(නෙත්)